Wednesday, April 19, 2017

සහකාරියන් සතර දෙනාගේ කතාව




බහු භාර්යා සේවනයත්, බහු පුරුෂ සේවනයත් පැරණි කාලයේ සමහර ශිෂ්ටාචාරයන්හි පැවැති අවාහ විවාහ ක්‍රමයකි. අප මේ කාරණය සඳහන් කරන්නේ මිනිස් ජීවිතයේ යථා ස්වභාවය විදහා දක්වන දහම් කරුණක් පැහැදිලි කරදීමටයි. මේ කතාව චීන ත්‍රිපිටකයේ හෙවත් චීන ආගම ග්‍රන්ථයන්හි බුදුරජාණන් වහන්සේ රූපක අනුසාරයෙන් ධර්මය විග්‍රහ කොට දැක්වූ අවස්ථාවකි. අංගුත්තර නිකායේ දේවදූත සූත්‍රයෙන්ද පැහැදිලිකොට ඇත්තේ මෙබඳු දහම් කරුණකි.
එක් සමයෙක්හි කිසියම් පුරුෂයෙකුට භාර්යාවෝ සතර දෙනෙක් සිටියහ. මේ මිනිසා බලවත් ලෙස රෝගාතුරව මරණාසන්න මොහොතට පැමිණියේ බලවත් අසරණ භාවයකට පත්විය. සැබවින්ම ඔහු තම බිරින්දෑවරු සතර දෙනාට අතිශයින්ම ආදරය කළේ ය. අසරණ වූ ඔහු තම බිරින්දෑවරුන්ගෙන් අවසාන ඉල්ලීම කළේ ය. පළමු ඉල්ලීම කළේ ඔහු වඩාත් ආදරය කළ පළමු බිරිඳගෙනි. ඔහු පළමු බිරිඳ දෙස බලාපොරොත්තු සහිතව බලමින්, සොඳුරිය, ඔබ මා සමඟ මා යන ලෝකයට එනවානේදැයි විමසීය. පළමු බිරිඳගේ පිළිතුර ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූ එකක් නොවීය. පි‍්‍රය ස්වාමිපුත්‍රයාණෙනි, ඔබ අනෙක් බිරින්දෑවරු තිදෙනාට වඩා මට ආදරය කළ බව මම නොදන්නවා නොවේ. ඔබ හැම දෙයක්ම ඉස්සෙල්ලම දුන්නේ මටයි. මා කැමති හැම දෙයක්ම ඔබ මට ලබා දුන්නා. මා ලස්සනට තබා ගන්න, මා සතුටින් තබා ගන්න, ඔබ හැම දෙයම මට දුන්නා. හැම සැපක්ම දුන්නා. ඒත් හිමියනි, මා සමඟ තරහ වෙන්න එපා. මට ඔබත් සමඟ එන්න බැහැ. මට සමාවෙන්න. මරණ මංචකයේ වැතිරුණු මිනිසා පළමු බිරිඳගේ කතාවෙන් අන්ත අසරණ තත්වයකට වැටුණේ ය.

මීළඟට ඔහු හැරුණේ තමා සියලු වෙහෙස දරා කැපකිරීම් කොට ලබාගත් දෙවෙනි බිරිඳ දෙසටයි මා දයාබර පි‍්‍රයම්බිකාව. ඇය මා සමඟ යාම ප්‍රතික්ෂේප කළා. ඔබවත් මා සමඟ අවසන් ගමන් යෑමට එනවා නේදැයි විමසීය. කාරුණික ස්වාමියාණෙනි, ඔබ වඩාත්ම ආදරය කළ පළමු බිරිඳ ඔබත් සමඟ යාම ප්‍රතික්ෂේප කළා නම් මම කොහොමද ඔබත් සමඟ යන්නේ? ඇරත් ඇත්තම කියනවා නම් ඔබ මට සැබෑ ලෙස ආදරය කළා නොවේ. ඔබ ආත්මාර්ථකාමීවයි මට ආදරය කළේ. මාව රැක බලාගත්තත්, ඔබගේම ප්‍රයෝජනය සලකා ගෙනයි. ඔබ වැඩි මුදලකට කෙනෙක් මාව ඉල්ලුවානම් ඔහුට ඔබ මාව පාවා දෙනවා නේද? මම ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ අද මාව අතහැර ගියත් මට අමුත්තක් නැහැ. මාව වෙනත් කෙනෙකුට අයිති වේවි. මට ඔහුත් සමඟ ජීවත් වෙන්න පුළුවන්. මේ දෙවෙනි බිරිඳ ඔහුගේ ඉල්ලීම සෘජු ලෙසම ප්‍රතික්ෂේප කළා අසරණ මිනිසා ජීවිතය ගැන හොඳටම කලකිරුණා.
මීළඟට ඔහු තුන්වෙනි බිරිඳගේ මුහුණ දෙස බැලුවා. ඔහු ඇයගෙන්ද මෙසේ විමසුවා. පි‍්‍රය සොඳුරිය, මේ දෙදෙනාම මාත් සමඟ යෑම ප්‍රතික්ෂේප කළා. ඔබවත් මා සමඟ යන්න එනවාද? තුන්වෙනි බිරිඳ නම් සිටියේ විශාල කම්පනයකින්. අනේ වස්තුවේ මාව දාල යන්න එපා, ඔබ අප අතහැර ගියොත් පපුව පැලේවි. අනේ මාවත් ඔයාගේ ලෝකයට ගෙන යන්න කියා අනෙක් මිනිසුන්ට පේන්න පොළවේ හැපි හැපී හඬන්නම්.මට ඔයත් එක්ක එන්නට හැකිවන්නේ සොහොන් පිටිය දක්වා පමණයි. ඊට එහාට අඩියක්වත් එන්න බැහැ. මෙසේ තුන්වෙනි බිරිඳත් අවසානයේ දී ඔහු සමඟ යාම ප්‍රතික්ෂේප කළා.


දැන් ඔහුගේ අවසාන බලාපොරොත්තුව වූයේ සතරවෙනි බිරිඳයි. ජීවත්ව සිටින කාලයේ ඔහු ඇය ගැන එතරම් සැළකිල්ලක් දැක්වූයේ නැහැ. එසේ නොසැලකුවත්, ඇයට සැබෑ ආදරයක් නොපෑවත් අන්ත අසරණ තැනට වැටුණු මේ මිනිසා සතර වෙනි බිරිඳ දෙස හැරී තම අවසාන ඉල්ලීම කළේ එතරම්ම බලාපොරොත්තුවකින් නොවේ. මන්ද? තමා වඩාත් ආදරය කළ බිරියන් තිදෙනා තමා සමඟ යාම ප්‍රතික්ෂේප කළා නම් සිව්වැන්නියද එය ප්‍රතික්ෂේප කරන බව දන්නා නිසයි. ඔබවත් මා සමඟ යන්න එනවාදැයි ඔහු ඇයගෙන් ඇසීය.

සිව්වෙනි බිරිඳගේ පිළිතුර ඔහු සිහිනෙන් වත් නොසිතූ එකක් විය. පි‍්‍රය ස්වාමි පුත්‍රය, ඔබ යන තැනකට යන්න මම සූදානම්. ඔබ වැඩියෙන්ම ආදරය කළ තුන් බිරියන් ගැනත් ඔබ ගැනත් මම හොඳින් දනිමි. මම හැම විටම ඔබ ගැනත් ඔවුන් ගැනත්, පරීක්ෂාවෙන් සිටියෙමි. මට ඔවුන් ගැන හෝ ඔබ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණේ නැහැ. ඒත් මම දැන ගත්තා හැමදාම ඔබත් සමඟ ඉන්නේ මා පමණක් බව. ඔබ මා ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවත් මම ඔබ යන ඕනෑම තැනකට එන්නම්. අපායට වුවත්, දෙව්ලොවට වුවත්, මා එන්න සූදානම්. මිනිසා තම දෑස් සදාකාලිකවම පියා ගත්තේ ය. සිව්වෙනි බිරිඳ ඔහු සමඟ ගමන් ගත්තේ සැබෑ පාද පරිචාරිකාවක් ලෙසය.

චීන ත්‍රිපිටකයේ දැක්වෙන මෙම කතාවෙන් විග්‍රහ කෙරෙන්නේ කාම ලෝකයේ සැරිසරන මිනිසාගේ කතාවයි. මෙහි දැක්වෙන පළමු බිරිඳ යනුවෙන් සංකේතවත් කෙරෙන්නේ මිනිසාගේ පංචස්කන්ධයයි. මිනිසා උපන්දා පටන් මිය යනතුරු වඩාත්ම ආදරය කරන රූපස්කන්ධය පෝෂණය කිරීමට දවස පුරා වෙහෙසෙයි. කවමින්, පොවමින්, නාවමින්, සරසවමින් රැක බලාගන්නා තම සිරුරේ මරණයත් සමඟ එහි උණුසුම පහවයයි. දුර්වර්ණ වී යයි. වේදනා සහිත සිතිවිලි සියල්ල ඔහු හැර දමා යාම සිදුවෙයි. ජීවත්වන මිනිසාට මරණයත් සමඟ මුලින්ම අහිමි වන්නේ ඔහු මෙතෙක් ආදරය කළ ශරීරයයි. මෙම බිරිඳ ලෙස සැලකෙන්නේ එම ශරීරයයි.

දෙවෙනි බිරිඳ ලෙස මෙහි පෙනී සිටින්නේ මිනිසා ජීවිත කාලයක් තිස්සේ ගොඩනඟාගත් රැස් කරගත් ගේ දොර වතුපිටි යාන වාහන, ධනය බලය හා කීර්තියයි. ඔහු ඒ රැස්කොට ගත් දෙයින් කිසිම තෘප්තියකට පත්වූයේ නැත. තණ්හාවේ, දාසයකු මේ දෙවෙනි බිරිඳට අතිශය ඇළුම් කළේ ය. දෙවෙනි බිරිඳ මියයන මිනිසාට පැවසුවේ ඔබ සැබවින්ම ආදරය කළේ මට නොව ඔබටමය. ඔබ ඔබේ කෑදරකම නිසා ඒ ආදරය කළ දේ තවත් කෙනෙකුට විකුණා දැමීමට පවා ඔහු උනන්දු වූ බව ඇය පෙන්වා දුන්නාය.

තුන්වෙනි බිරිඳ වශයෙන් එන චරිතයෙන් සංකේතවත් කෙරෙන්නේ මිනිසාගේ අඹු දරු නෑ හිතමිතුරු ආදී ඇසුරු කළ සියලු දෙනායි, මිනිසා ජීවිත කාලයක් අඹු දරුවන් සතුටු කිරීමට වෙහෙසෙයි, ඔවුන් වෙනුවෙන් සියල්ල කැප කරයි. ඒ නිසාම ඔහුගෙන් ලැබෙන උපකාර නිසා ඔවුන් ඔහුට ආදරය කරයි. ඒ නිසා ඔහු තමන්ගෙන් වෙන් වෙනවාට ඔවුහු අකැමැති වෙති. ඔහු සමුගන්නාවිට ළෙහි අත් ගසමින් පොළොවේ වැතිරෙමින් තමන් තනිකර නොයන ලෙස විලාප නඟති. මේ පි‍්‍රය වූ අඹු දරු නෑ හිත මිතුරෝ ඔහුත් සමඟ සුසාන භූමිය කරා පමණක් පිය නඟති. මිය ගියා වූ තමන් පි‍්‍රය කළ තැනැත්තා සොහොනෙහි තනිකර දමා නෑදෑයෝ තම සුපුරුදු කටයුතුවල යෙදෙති.

මෙහි සතරවෙනි බිරිඳ යනු කවරෙක්ද? මිනිසා ජීවත්වන කාලය තුළ තම සිත සකසාගෙන කුසල් දහම්හි හැසිරීමට එතරම් වෙහෙසීමක් නැත. ඔහු ඉහතින් දැක්වූ තුන් දෙනා ගැන පමණක් වෙහෙසෙයි. නමුත් ඒ තිදෙනා ඔහුත් සමඟ ඊළඟ භවයට ගමන් කරන්නේ නැත. මිනිසා සමඟ සසර ගමනට එක්වන්නේ ඔහු රැස්කරගත් කුසල අකුසල කර්මයන්ය. ඔහුගේ කුසල පක්ෂය උපමාකොට දක්වන තම සෙවනැල්ලටයි. කෙනෙකුගේ ඡායාව ඔහු අතර නොයාම ඔහු සමඟ ගමන් කරයි. එය ඔහුට කිසිදු බරක් නොවේ. එහෙත් අකුසල පක්ෂය උපමාකරන්නේ ගොනු පස ගමන් කරන රිය සකටයි.

ජීවිත කාලය පුරා බර පැටවු ගැලක් ඇදගෙන යන ගොනෙකු මෙන් මිනිසා තමා රැස්කළ අකුසල කර්මයන්ගෙන් පීඩා විඳියි. මේ නිසා මිනිසා කර්මය යහපත් සහකාරියක් බවට පත්කර ගත යුතුයි.
සසර සැරිසරන මිනිසාට බිරිඳක් ලෙස නෑයකු ලෙස ඇයගෙන් ලැබෙන දෑවැද්දක් ලෙස පිහිටක් ලෙස පවත්නේ තමා විසින් සසරදී සිතා මතා කරන ලද චේතනා පූර්වක කර්මයන්ය. දුෂ්ට සිතින් කරන ලද කියන ලද දෑ දුෂ්ට බිරිඳක් ලෙසත්, දූෂිත නොවූ ප්‍රසන්න වූ සිතින් කරන ලද උතුම් බිරිඳක් ලෙසත් තමන් සමඟ ගමන් කෙරෙයි. මේ අනුව සතර වෙනි බිරිඳ ලෙස සැලකෙන්නේ චේතනා පූර්වක කර්මය බව මින් පැහැදිලිවේ. පුරුෂයකුට බිරින්ඳෑවරු සතර දෙනෙක් සිටින අයුරින් ස්ත්‍රියකට මෙවැනි ලක්ෂණ ඇති සැමියන් සතර දෙනෙක් සිටින බව අප වටහාගත යුතු ය. 

මහාචාර්ය 
විලේගොඩ අරියදේව හිමි

No comments:

Post a Comment